ලේ වැකුණු කළු සල්ලියෙන් උපන් ඇත් දළ තොගය සුන් කළ හැටි
2012 වර්ෂයේ
මැයි මස 12 වැනිදා එවකට නියෝජ්‍ය රේගු අධ්යක්ෂ වශයෙන් කටයුතු කළ සමන්ත ගුණසේකර මහතා ප්රමුඛ රේගු නිලධාරීහු පිරිසක් කෙන්යාවේ සිට ඩුබායි දක්වා ලංකාව හරහා යන ඇත්දළ කන්ටේනරයක් අත්අඩංගුවට ගැනීමට සමත් වූහ. එතැන් සිට මේ දක්වා එම ඇත්දළ තොගය විනාශ කිරීම සිදු වන්නේ කවදාද යන පැනය දෙස් විදෙස් පරිසර සංරක්ෂණවේදීන්ගේ සිත් තුළ පැවතිණි. එහෙත්
එය දිනෙන් දින කල් ගියේ ලංකාවේ කීර්ති නාමයට කළු පැල්ලමක් එක්කරමිනි.
වෙඩි උණ්ඩයක් ඇත් දළයක සිරවී තිබූ අයුරු
මෙම
කන්ටේනරය තුළ අප්‍රිකානු ඇතුන් 180කගේ පමණ දළ තිබූ අතර වඳවීමේ තර්ජනයට ලක්වී සිටින ශාක හා සතුන් සේම එම සතුන්ගේ කොටස් වෙළෙඳාම පිළිබඳව අන්තර්ජාතික සම්මුතියට අනුව මෙම ඇත්දළ තොගයට නීතිය ක්‍රියාත්මක කිරීමට අප රට බැඳී සිටියේය. එම සම්මුතිය හැඳින්වෙන්නේ සයිටීස් සම්මුතිය ලෙසිනි. එසේ වුවද ඇත්දළ විනාශ කිරීම වෙනුවට ඒවා පන්සල්වලට බෙදා දීම ඇතුළු වංචනික වැඩසැලසුම් පසුගිය කාලය පුරාම ක්‍රියාත්මක විය.
සැබැවින්ම
මෙම ඇත්දළ තොගය විනාශ කළ
යුතු බව ප්‍රථමයෙන්ම මෛත්‍රී, රනිල් රජය නිල වශයෙන් පිළිගැනීම පරිසර සංරක්ෂණවේදීන්ගේ හා යුක්තිගරුක ජනතාවගේ ජයග්‍රහණයක් විය. එහෙත් ඇත්දළ පිලිස්සීම අසුබ දෙයක්ය යන වැරදි කල්පනාව රටේ ඇතැම් ප්රබලයන්ට ඇතැම් වන්දිභට්ටයන් ලබා
දීම හේතුවෙන් අදාළ ක්‍රියාවලිය දිනෙන්
දින කල් ගියේය.
පරිසර
සංරක්ෂණවේදීන්ගේ නිරන්තර බලපෑම් හමුවේ මේ පිළිබඳව කරුණු කාරණා සොයා බැලීමට තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යවරයා වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාටද සිදු විය. ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා මෙම ලේ වැකුණු ඇත්දළවල සත්‍ය කතාව අවබෝධ කර ගැනීමත් සමග අදාළ
ක්‍රියාවලියට අවංකව නායකත්වය දීමට ඉදිරිපත් විය. හිටපු එ.ජා.ප. භාණ්ඩාගාරික හා වත්මන් විනිමය හා කොටස් වෙළෙඳපොළ කොමිෂම් සභාවේ සභාපති ධුරය දරන තිලක් කරුණාරත්න මහතා මෙම ඇත්දළ තොගය විනාශ කිරීම පිළිබඳව අවස්ථා කීපයකදීම ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා සමග සාකච්ඡා කළේය. ඉන් නොනැවතුණ ඒ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඇත්දළ තොගය විනාශ කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කළේය. එම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මෙම ඇත්දළ තොගය විනාශ කිරීම සම්බන්ධයෙන් තමාගේ කිසිදු විරෝධයක් නොමැති බව කීවේය. ඉන් පසුවද ඒ පිළිබඳව සාකචඡා වට කීපයක් පැවැත්විණි.
ඇත් දළ විනාශ කළ අයුරු
ඇත්දළ
පිලිස්සීමෙන් නැගෙන දුමෙන් යම්කිසි පරිසර හානියක් සිදුවිය හැකි බැවින් පරිසර සංරක්ෂණවේදීහු ද ඇත්දළ තොගය කුඩු කොට විනාශ කිරීමට වැඩි නැඹුරුවක් දැක්වූහ.
පසුගිය
26 වැනිදා කූටප්රාත්තියට පත්වූයේ ඒ සියලු දෙනාගේ කැපවීමේ ප්‍රතිඵලය බව කිව යුතුය. මෙම
ඇත්දළ දරා සිට ලේ සයුරක් මැද මියගිය දළ ඇතුන් සහ ඇතින්නියන් සිහි කොට පින් අනුමෝදන් කිරීමේ විශේෂ වැඩසටහනක් ද මෙදින ක්‍රියාත්මක විය. එවැන්නක් සිදු වූයේ ලොව පළමු වතාවටය. විශේෂයෙන්ම
ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයාගේ නායකත්වය නොවන්නට මෙය යථාර්ථයක් නොවීමට ඉඩ තිබිණි. එලෙසම ලේ වැකුණු ඇත්දළ විනාශ කිරීමේ මෙහෙයුමේ සෙන්පතියා වූයේ සමන්ත
ගුණසේකර මහතා බව අවිවාදිතව පිළිගත යුතුය. ඇත්දළ ඇල්ලීමේ සිට එය විනාශ කිරීමේ සමස්ත තරගාවලියේ වීරයා වූයේ ද සමන්ත ගුණසේකරයන්ය. ලේ වැකුණු ඇත්දළ මොනවාද යන්න බොහෝ දෙනා දන්නේ නැත. ඒ නිසාම මේ ඇත්දළ විනාශ කිරීම පිළිබඳ විවිධ මතවාද සමාජය තුළ පවතී.
ලෝකය
තුළ සංසරණය වන මුදල් වර්ග ගණනාවක් තිබේ. ඒවා අතර කළු සල්ලි සහ සුදු සල්ලි ප්‍රධාන වේ. කළු සල්ලි අතර බරපතළම අපරාධවලින් උපයන මුදල් හඳුන්වන්නේ ලේ වැකුණු කළු සල්ලි කියාය.
ලෝකය
තුළ කළු සල්ලි උත්පාදනය කරන ප්‍රධාන ව්‍යාපාර ගණනාවක් තිබේ. අවි ආයුධ ජාවාරම, ඖෂධ ජාවාරම සේම මත්ද්‍රව්‍ය ජාවාරම ඒ අතර කැපී පෙනේ. වන සතුන් මරා ඔවුන්ගේ කොටස් විකුණා මුදල් උත්පාදනය කරන විශාල ජාවාරමක්ද ලොව පුරා ක්‍රියාත්මකව පවතී. ඒ ජාවාරම නතර කිරීම සඳහා විශාල යාන්ත්‍රණයක් සකස් කිරීමට ලොව පුරා විසිරී සිටින සබුද්ධික රාජ්‍ය සේම පරිසර සංරක්ෂණවේදියෝ දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිති. එම විසල් ජාවාරම යටතේ ඇත්දළ, කොටි හා ව්යාඝ්ර හම් ලොව පුරා හොර රහසේ අලෙවි වේ. මේ ජාවාරමෙන් උපයන මුදල් ලේ වැකුණු කළු සල්ලි ලෙස හඳුන්වනු ලැබේ. මේ ඇත්දළ අයිති වන්නේ ද මේ කුලකයටමය.
මෙම
ඇත්දළ ලේ වැකුණු ඇත්දළ බවට මේ වන විට සාක්ෂි කිහිපයක්ම ලැබි තිබේ. ඉන් පළමුවැන්න වන්නේ මෙම ඇත්දළ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එම දළවල ලේ තැවරී තිබිමය. එය අත්අඩංගුවට ගත් සමන්ත ගුණසේකර මහතා පැහැදිලිවම මෙම ඇත්දළවල තිබූ වියළී ගිය රුහිරු දැක ඇත. දෙවැන්න වන්නේ මෙම ඇත්දළ කුඩු කිරීමේදී එක් දළයක ඇතුළත තිබූ ගිනියම් මූනිස්මක් හමුවීමය. එම මූනිස්සම වටාද ඇත්දළය වැඩී ඇත. ඉන් ගම්‍ය වන්නේ මෙම දළ හිමි ඇතා හෝ ඇතින්න අදාළ මූනිස්සම් ප්‍රහාරයට හසුවීමෙන් පසුවද ජීවත් වූ බවය. ඉන් අනෙක් අතට ගම්‍ය වන්නේ සෙසු ඇතුන් සහ ඇතින්නන් මරා දමා ඇත්තේ ද ඒ ආකාරයෙන් ගිනියම් වූ මූනිස්සම් ප්‍රහාර හමුවේ බවයි. මෙම ඇත්දළ තොගයේ තවත් හද කකියවන ශෝකී ප්‍රවෘත්තියක් සටහන් වී ඇත. ඒ මොවුන්් 180කගෙන් 30 - 40 පමණ කුඩා ඇත් පැටවුන් වීමය.
මෙම
කන්ටේනරයේ තිබි සොයාගත් සියලුම ඇත්දළ අප්‍රිකානු ඇතුන්ගේය. එම ඇත්දළ ලබාගෙන ඇත්තේ එම දළ ඇතුන් සහ ඇතින්නියන් (අප්‍රිකාවේ ගැහැනු
පිරිමි දෙපාර්ශ්වයටම දළ පිහිටයි) වෙඩි තබා මරා දැමීමෙන් පසුවය. ඇතැම් ඇත්දළ ගලවාගෙන ඇත්තේ වෙඩි තබා බිම වැටුණු එහෙත් ප්‍රාණය තිබෙන ඇතුන්ගෙන් හා ඇතින්නන්ගේ හිස් කබල සහිත මුහුණ කොටස විදුලි කියත්වලින් කපා දැමීමෙන් අනතුරුවය.
ඇත් දළ විනාශකිරීමට පෙර පිරිත් සජ්ඡුායනය කළ අයුරු
පණ
තිබෙන සද්දන්ත ඇතෙකුගේ හිස් කබල ඒ ආකාරයට විදුලි කියත්වලින් කපා දැමීම කෙතරම් රුදුරු ක්‍රියාමාර්ගයක්ද යන්න තේරුම් ගැනීම අපහසු නැත. මෙහිදී ඇතැම් ඇතින්නියන් මරා දමා ඇත්තේ කුඩා අලි පැටවුන් කිරි උරාබොමින් සිටින අතරවාරයේදීය. ඒ ආකාරයට ලේ සයුරක කිමිදී ලබාගත් ඇත්දළ පන්සල්වලට
ලබාදීමට යෝජනා කළ උදවිය ද සිටියහ. එවැනි අය ස්ථිර වශයෙන්ම බෞද්ධ නොවන බව අපගේ විශ්වාසයය.
කෙසේ
වුවද අවසානයේ මෙරට පරිසර සංරක්ෂණවේදීන්ගේ සහ නීති ගරුක ජනතාවගේ විශාල ජයග්‍රහණයක් සනිටුහන් කරමින් මෙම ඇත්දළ තොගය විනාශ කිරීමට හැකියාව ලැබිණි. ඒ අවස්ථාවට සයිටීස්හි ලේකම් ඇතුළු සම්භාවනීය පිරිසක් ද එක්ව සිටියහ.
එලෙසම
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ අලි හොරෙකුද ඒ ස්ථානයට පැමිණ සිටි අතර කිසිදු ලැජ්ජාවකින් තොරව ඇත්දළ තොගය ඉදිරිපිට සිට ඡායාරූප ගන්නා ආකාරය ද දක්නට ලැබිණි. මීට පෙර අවස්ථාවේ මෙම ඇත්දළ තොගය විනාශ කිරීමට සමන්ත ගුණසේකර මහතා ඇතුළු උනන්දුවක් දැක්වූ උදවිය දැඩි වෙහෙසක් ගනිමින් සිටියදී ඒ ක්‍රියාවලිය වැළැක්වීමට නොයෙක් කූට ක්‍රම භාවිත කළ මේ දූෂිත නිලධාරියා කිසිදු ලැජ්ජාවකින් තොරව මේ ස්ථානයට පැමිණ සිටීම ද බොහෝ දෙනාට විමතිය දනවන්නක් විය. මෙම දූෂිත නිලධාරියා අදාළ පුටුවේ සිටින අවධියේ මව මරා වනයෙන් ගෙන ආ අලි පැටවුන්ටද හොර බලපත්‍ර සකස් කළ අතර එම ක්‍රියාවලියේදී ඔහුගේ අගසව් ලෙස සිටි තවත් දූෂිත වනජීවී ඉහළ නිලධාරීන් දෙදෙනෙකුද එම ස්ථානයට පැමිණ සිටි බව කිව යුතුය. ඊට අමතරව හොර අලි පැටවුන් ළඟ තබාගෙන සිටි එ.ජා.ප. දේශපාලනඥයකු ද මෙම ස්ථානයට පැමිණ ඇත්දළ අසල ගැවසෙනු දක්නට ලැබිණි.
අදාළ
ඇත්දළ තොගය තබා තිබූ ස්ථානයට පිටිපසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශාල පුවරුවක් විය. ශ්‍රී ලංකාවේදී රාජසන්තක කරන ලද ඇත්දළ විනාශ කිරීම යන වැකිය එහි විශාලව සටහන් කර තිබිණි. එම පුවරුව දෙපස සිටියේ අප්‍රිකානු අලි පවුලකි. එම සිතුවමේ දළ සහිත දැවැන්ත අප්‍රිකානු අලියෙතු සහ ඇතින්නකු ද දළ සහිත කුඩා පැටවෙකුගේ රුවක්ද සටහන් කර තිබිණි. එම රූපය දෙස බලා සිටි ලංකාවේ සිටින ප්‍රවීණම පරිසරවේදියකු වන රුක්ෂන් ජයවර්ධන මහතා අපූර්ව දෙයක් මේ ලියුම්කරුට කීවේය. ඊළඟ වනජීවී අධ්යක්ෂ ධුරය සම්බන්ධයෙන් ද රුක්ෂන් ජයවර්ධන මහතාගේ නම කරළියට පැමිණ ඇත.
“අර
රූපේ ඉන්නේ අප්‍රිකානු අලි පවුලක්. නමුත් ඒක ඇඳපු කෙනා දැනගෙන ඉඳල නෑ අප්‍රිකානු ඇතින්නියන්ටත් දළ තිබෙන බව. ඒ විතරක් නෙවේ වනජීවී දෙපාර්තමේන්තුවේ එක්කෙනෙක්වත් ඉඳල නෑ මේ අඩුපාඩුව පෙන්නලා දෙන්න” ඒ ජයවර්ධන මහතා පළ කළ අදහසය. සාමාන්‍යයෙන් ලංකාවේ නම්
ඇතින්නියන්ට දළ නොපිහිටයි. එහෙත් අප්‍රිකානු අලින්ට ගැනු පිරිමි භේදයකින් තොරව දළ පිහිටයි. එහෙත් ඉහත ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ අඩු තරමින් මේ දේ වත් වනජීවී දෙපාර්තමේන්තුව නොදන්නා බව නොවේද? එය මෙහි ප්‍රදර්ශනය කරන තුරුවත් කිසිවෙක් දුටුවේ නැද්ද? රුක්ෂාන් යනු හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ එකම පුත් රවී ජයවර්ධන ගේ මද්දුම පුතා බව ද කිව යුතුය. ඔහු වෘත්තියෙන් පුරා විද්‍යාඥයෙකි.
එලෙසම
ඉන් තවත් දෙයක් ගම්‍ය වේ. රුක්ෂන් ජයවර්ධන වැනි අයෙකු එම දෙපාර්තමේන්තුවේ නායකත්වයට කෙතරම් සුදුසුද යන්නය එම අනෙක් කරුණය. වනජීවී
අධ්යක්ෂ ජනරාල් ධුරයට අදාළව කියවෙන තවත් අයෙක් ද එම උත්සවයට පැමිණ සිටියේය. ඔහු කලක් ලෝක බැංකුවේ සේවය කළ ආචාර්ය සුමිත් පිලපිටිය මහතාය. රුක්ෂන් ජයවර්ධන මහතා තරම් පරිණත පරිසර දැනුමක් නොමැති වුවද පිලපිටිය මහතා ද ඉතා අවංක වැදගත් නමක් සමාජයේ රඳවා තිබෙන මහත්මයෙකි. එහෙත් එදින ඒ මහතා වටකරන් සිටි පිරිස අතර පරිසරවේදීන් යැයි පෙනී සිටිනා පෞද්ගලික කොම්පැනිවල ඒජන්තයන් කිහිප දෙනෙකු සිටි බවකිව යුතුය. වෙනදාට පිළිපිටිය මහතා වටා රොද බැඳ නොසිටින මේ පිරිස අද මෙලෙස ඔහු වටකර සිටින්නේ ඇයිද යන්න විමසා බැලීම වැදගත් බව අපි පිලපිටිය මහතාට මතක් කරන්නට කැමැත්තෙමු. එලෙසම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ගැසූ තක්කඩි සහකාර අධ්‍යක්ෂවරයෙකුද ඒ මහතා අසලම ගැවසෙන ආකාරය දක්නට ලැබිණි.
ඒ
අයගෙන්ද පරෙස්සම් වීම පිළපිටිය මහතාගේ අනාගතයට සේම පරිසරයේ අනාගතයට එක සේ යහපත් බව කිව යුතුය. දැන් හදිස්සියේ පැමිණ ප්රශස්ති ගයන මේ තක්කඩි රැල හඳුනා ගැනීමට නොහැකි නම් පිලපිටිය මහතාට සිදු වන්නේ ද බල්ලන් සමග නිදාගත් විට සිදුවන දේම බව අමතක කළ යුතු නැත.
මේ
කාරණා සියල්ලම මැද එකී නොකී මෙකී සියලුම දෙනාගේ දැඩි වීර්යය හා කැපවීම සහිත ලේ වැකුණු ඇත්දළ කුඩා කැබලි බවට පත් විය. ඇත්දළ කුඩා කැබලි බවට පත්කරන යන්ත්‍රය නොමිලේම ලබා දී තිබුණේ ලාෆ් ගෑස් ආයතනය බවද කිව යුතුය. එලෙස කැබලි කරන ලද ඇත්දළ මලුවල දමා පුත්තලමේ හොල්සිම් කර්මාන්තශාලාවේ පිහිටි අධි තාපය සහිත බර්නරයේ දවා අළු කිරීම ද ඊට පසුදින සිදු විය. මෙහිදී ඇත්දළ කුඩු කිරීමේදී ඉතිරි වූ දූවිල්ල පවා එකතු කොට අළු කිරීමට සමන්ත ගුණසේකර මහතා කටයුතු කිරීම අතිශය ප්‍රශංසනීය.
නැවතත්
කිව යුත්තේ රටට කීර්තිය ගෙන ආ මේ මහා මෙහෙයුමේ යුග පුරුෂයා සමන්ත ගුණසේකරයන් බවය. එවැනි රාජ්‍ය නිලධාරින් ආයතනයක් නොවන රටක් පාලනයට වුව සුදුසු බව කිව යුතුය. ඔහුටත් මේ වික්‍රමය පාන්නට ඉඩකඩ විවර වූයේ ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අවංකවම මැදිහත් වීම නිසා බවද කිව යුතුය. ඔවුන් දෙදෙනාටම ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුය.
නයනක රන්වැල්ල
ඡායාරූප - චමිල කරුණාරත්න
2016 .01.31 රිවිර පුවත්පත
Comments
Post a Comment